wdisß marjD;a;s

ආසිරි සෙන්ට්‍රල් ස්නායු වෛද්‍ය කණ්ඩායම කොඳුඇට පෙළේ අසාමාන්‍ය ශල්‍යකර්මයක් සාර්ථකව සිදුකරයි

දහසය හැවිරිදි නව යොවුන් දරුවෙකු වන ලසිඳු පෙරේරා හට කොඳු ඇට පෙළෙහි ඇදවීම සම්බන්ධ ශල්‍ය කර්මයක් සාර්ථකව සිදුකිරීමට කොළඹ ආසිරි සෙන්ට්‍රල් රෝහලේ, මොළය සහ සුෂුම්නාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායම පසුගියදා සමත්විය.

ස්නායු ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් අතින් මෙවැනි ශල්‍ය කර්මයක් මෙරට වෛද්‍ය ඉතිහාසය තුළ සිදුකෙරුණු ප්‍රථම අවස්ථාව ද මෙය විය. එය මෙහෙයවනු ලැබුවේ ප්‍රවීණ ශල්‍ය වෛද්‍ය උපදේශක වෛද්‍ය සුනිල් පෙරේරා මහතාගේ මඟපෙන්වීම යටතේ දක්ෂ ස්නායු ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් විසිනි. ලසිඳුගේ කොඳු ඇට පෙළෙහි දක්නට ලැබුණු අසාමාන්‍ය වක ගැසීම හෙවත් කොඳු ඇට පෙළෙහි ඇදවීම නිසා ඔහුට බොහෝ සෞඛ්‍ය ගැටලු මතුව තිබුණි. එනිසා ඉක්මන් ශල්‍ය කර්මයක් සිදුකිරීම අත්‍යවශ්‍යතාවක් විය.

මීට පෙර ද 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී ද ලසිඳුට අංශභාග තත්ත්වයක් ඇතිවුණු අතර එහිදී වෛද්‍ය සුනිල් පෙරේරා ඇතුළු කණ්ඩායම කළ පරීක්ෂණවලදී හෙළිවූයේ ඔහුගේ මොළය ආශ්‍රිතව විශාල පිළිකා ගෙඩියක් හටගෙන ඇති බව ය.

"ඔහුගේ මොළයේ ගෙඩිය හටගෙන තිබුණේ අතිශය භයානක තැනකයි. එතැන ශල්‍ය කර්මයක් කිරීම පවා සෑහෙන අවදානම් සහ අසීරු කටයුත්තක් වුණා. අපි රේඩියෝ ප්‍රතිකාර පමණක් ලබාදුන්නා නම් ලසිඳුගේ ජීවිතය පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකියි. නමුත් බොහෝ දෙනා ශල්‍ය කර්මයක් සිදුකිරීම ප්‍රතික්ෂේප කරද්දී අපි ඒ වගකීම භාරගත්තා. ලසිඳු සුවපත් කිරීමට අපට හැකිවුණා" වෛද්‍ය සුනිල් පෙරේරා පැවසීය.

වෛද්‍ය පෙරේරාට නැවතත් ලසිඳු මුණගැසෙන්නේ 2018 ජනවාරි මාසයේදී ය. ඒ ලසිඳුගේ කොඳුඇට පෙළෙහි වක්වීම වර්ධනය වෙමින් ඇති බව ඔහුගේ භෞත චිකිත්සකවරයා දැනුම් දීමත් සමඟ ය.

වෛද්‍ය පෙරේරාට අනුව S හැඩයේ ඇදය හෙවත් කොඳු ඇට පෙළේ මුල් කොටසේ අංශක 10කට වැඩි වක්වීමක් කොඳු ඇට පෙළෙහි ඇදවීමේ රෝගය ලෙස හඳුනාගැනේ. පැය 23ක කාලයක් තෙරපුම් පටියක් භාවිතා කරමින් ඊට ප්‍රතිකාර කිරීම ඇරඹිය යුතු අතර ඒ හරහා කොඳු ඇට පෙළෙහි වක්බව වර්ධනය වීම වළක්වාලයි. ලසිඳුගේ කොඳු ඇට පෙළෙහි අංශක 70ක පමණ වක්වීමක් තිබුණි.

"තෙරපුම් පටියක් නොයොදා කොඳු ඇට පෙළෙහි ඇදවීමේ රෝගයට ප්‍රතිකාර කිරීමට යාමේදී අංග විකලතාව උත්සන්න විය හැකියි. විශේෂයෙන්ම ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වීම නිසා වක් බව කාලයත් සමඟ තවදුරටත් වර්ධනය විය හැකියි" ඔහු වැඩිදුරටත් පැවසීය.

ලසිඳුගේ පෙර පැවැති රෝගී තත්ත්වය නිසා කොඳු ඇට පෙළෙහි ඇදවීමේ රෝගය ද වඩාත් සංකීර්ණ අතට හැරී තිබුණි. "මුල් ශල්‍ය කර්මය නිසා ඔහුගේ කොඳු ඇට පෙළෙහි ඇදය වර්ධනය වෙමින් පැවතුණා. ඒ නිසාම ඔහුගේ ගමන් විලාසයත් විකෘති වී තිබුණා. එය දිගින් දිගටම වර්ධනය වෙමින් තිබූ නිසා තමයි අපි ශල්‍ය කර්මයක් සිදුකිරීමට තීරණය කළේ" වෛද්‍යවරයා පැහැදිලි කළේය.

මෙවැනි ශල්‍ය කර්මයක් සිදුකිරීමේදී විවිධ සංකූලතා පැනනැඟීමට ඉඩ ඇතත් ආසිරි සෙන්ට්‍රල් ස්නායු ශල්‍ය වෛද්‍ය කණ්ඩායම එය සිදුකිරීමට තීරණය කළේය. ශල්‍ය කර්මය පිළිබඳව ද වෛද්‍ය පෙරේරා විස්තර කළේය. "මේක අමාරු වගේම අවදානම් සහිත ශල්‍ය කර්මයක්. මේකේ අවදානම තමයි යම් විදිහකින් වැරදි තැනකට ඇණ සවිකිරීමක් සිදුවුණොත් සුෂුම්නාවට හානි වෙලා අංශභාග තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සුෂුම්නාව නිවැරදිව සැකසීමට උත්සාහ කිරීමේදී සුෂුම්නාවේ එහා මෙහා වීම මගින් පවා කොඳු ඇට පෙළට හානි විය හැකියි"

මෙය අතිශය සංකීර්ණ ශල්‍ය කර්මයක් වූ බැවින් ලසිඳුගේ ස්නායු පද්ධතිය නිරීක්ෂණය කිරීම සඳහා වෙනම කණ්ඩායමක් යෙදවීමට ද වෛද්‍ය පෙරේරා කටයුතු කළේය. "ශල්‍ය කර්මය සිදුවන අතරේදීම ඔහුගේ ස්නායු පද්ධතිය නිරීක්ෂණය කළ යුතුව තිබුණා. එහිදී මුළු සිරුරම ආවරණය වන ආකාරයට ස්නායු පද්ධතිය නිරීක්ෂණය කෙරුණා. මොළයේ සිට පා ඇඟිලි දක්වා ස්නායු සංඥා ගමන් කරන ආකාරය නිරීක්ෂණය කළා. සුළු හෝ වෙනසක් ස්නායු පද්ධතියේ සිදුවුවහොත් ඒ හරහා දැනගන්න අවස්ථාව තිබුණා".

ශල්‍ය කර්මයෙන් අනතුරුව ලසිඳු පූර්ණ සුවය ලැබූ අතර නුදුරේදීම ඔහු සාමාන්‍ය පාසල් කටයුතු වලට යොමුවනු ඇත. "ශල්‍ය කර්මය ඉතාමත් සාර්ථකව සිදුවුණා. ඒ දරුවා සුවය ලබා යළි නිවසට ගියා" වෛද්‍ය පෙරේරා පැවසීය.

ශ්‍රී ලංකාව තුළ කොඳු ඇට පෙළෙහි ඇදවීමේ රෝගයේ ව්‍යාප්තිය පිළිබඳ අදහස් දක්වමින් වෛද්‍ය සුනිල් පෙරේරා මෙසේ කීය. "සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 03ක් පමණ කොඳු ඇට පෙළෙහි ඇදවීමේ රෝගයෙන් පීඩා ලබනවා. අපි දැනට සිදුකරන්නේ මෙවැනි ශල්‍ය කර්ම 30 පමණ සංඛ්‍යාවකුයි. නමුත් රෝග ව්‍යාප්තිය දිහා ලැබුවම ශල්‍ය කර්ම 1000-2000ක් පමණ කළ යුතුව තිබෙනවා. අනිත් අතට බොහෝ රෝගීන්ව මේ ශල්‍ය කර්මය වෙනුවෙන් ඉන්දියාවට හෝ වෙනත් රටවලට රැගෙන යාමත් දකින්න ලැබෙනවා"

මීට පෙර මෙවැනි ශල්‍ය කර්ම සිදුකළ විකලාංග ශල්‍ය වෛද්‍යවරයෙකු වූ වෛද්‍ය වසන්ත පෙරේරා සහ වෙනස් ක්‍රමයකින් කොඳු ඇට පෙළෙහි ඇදවීම සම්බන්ධ ශල්‍ය කර්ම සිදුකළ වෛද්‍ය රන්දුන්න කොරෙයා පිළිබඳව ද ඔහු ප්‍රශංසා මුඛයෙන් කතා කළේය.

"මේ ශල්‍ය කර්මය මීට පෙරත් ලංකාවේ සාර්ථකව සිදුකර තිබෙනවා. මුලින්ම මෙම ශල්‍ය කර්මය රටට හඳුන්වාදුන්නේ වෛද්‍ය රන්දුන්න කොරෙයා. පසුව වෛද්‍ය වසන්ත පෙරේරා දැනට පවතින මෙම ක්‍රමය හඳුන්වාදුන්නා. 20 වැනි ශතවර්ෂයේ තවමත් ඔහු සහ ඔහුගේ සගයින් මෙම ශල්‍ය කර්මය කරනවා. නමුත් ස්නායු ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් මෙවැනි ශල්‍ය කර්මයක් සිදුකළ පළමු අවස්ථාව මෙයයි. මෙය ඉහළම තාක්ෂණයෙන් සිදුකරන ඉහළ අවදානමක් ඇති ශල්‍ය කර්මයක්" ඔහු කීය.

කොඳු ඇට පෙළෙහි ඇදවීමේ රෝගය හා ඊට ඇති ප්‍රතිකාර සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ වැදගත්කම ද වෛද්‍ය සුනිල් පෙරේරා අවධාරණය කළේය. "විශේෂයෙන් කොළඹින් බැහැර ප්‍රදේශවල මෙය බහුල රෝග තත්ත්වයක්. ගැටලුවක් ඇති බව දැනසිටියත් කුමක් කළ යුතුද කියා ඔවුන් තුළ අවබෝධයක් නැහැ. ඒ නිසා දැනුවත් භාවය ඇතිකිරීම ඉතා වැදගත්" වෛද්‍යවරයා පෙන්වාදුන්නේය.